Monday, June 1, 2015

සත්‍යය යනු කුමක්ද? කිං සච්චං ගවේශී?

මෙලොව වසන මිනිසුන්ට ඉන්ද්‍රිය හරහා අසන,දකින,දැනෙන,සිතන බාහිර අරමුණු
සියල්ල සත්‍යයන්වේ. ඒ මත මම,මගේ ජීවිතය ගොඩ නැගේ.
බුදුන්වහන්සේ ලොව පහලව මේ මිනිසුන් සත්‍ය කොට පිලිගන්නා සත්‍යයන්,
අසත්‍යයන් බවත්, ඒවා සිතින්ම නිපදවා ගන්නා ලද බවත්, දේශනා කලහ. ඉන්ද්‍රිය
පහ සහ ඒ මගින් ගන්නා අරමුනු මත සදාගත් මනස නැමැති අරූපී ආයතන සමග නාම-රූප
දෙක පදනම්ව සැදුන සලායතනයන් ඉක්මවු තැන සත්‍ය පවතින බව බුදුන්වහන්සේ
පෙන්වා දුන්හ.

ඉන්ද්‍රිය වලට බාහිරෙන් ගන්නා අරමුණු ඉන්ද්‍රිය මතම ඉතිරි නැතුවම අවසන් වෙයි.
නමුත් මේ සත්‍යය නොදකින ප්‍රතක්ජන සත්වයා එසේ අනිත්‍යවු රූපචායා
අවිද්‍යාව නිසා සිතින් අල්ලා ගැනීමෙන්,සංස්කාර ගොඩ ඇතිකර ගැනීමෙන් පටිච්ච
සමුප්පන්නව සසර ගොඩ නැගෙන ආකාරය පෙන්වා වදාලහ. උදාහරන ලෙස ඇසේ වැටෙන වර්න
හැඩතල සටහන හුදු චායාවක් බව නොදැකීම නිසා,ඇසත්,රූප චායාවත් ගැටීම
ස්වභාවික සංසිද්ධියක් වුවත්,ඒ ගැටීම ආලෝක වේගයෙන්ම අවසන් වන නමුත් ඒ බව
අවිද්‍යාව මත නොදැකීම නිසා චක්ඛු විඤ්ඤානය හට ගනි.
විඤ්ඤානයේ කටයුත්ත නම් ඇසත්,බාහිර රූපයත් දෙකක් ලෙස පෙන්වීමයි. එවිට
බලන්නාත් බලන දෙයත් හට ගනී.
විඤ්ඤානයත්,ඇසත්,රූපයත් එකවීමෙන් මනසේ ස්පර්ශය හටගනී.මෙතන සිට සියල්ල
සිදුවන්නේ අවිද්‍යාව හෙවත් මුලාව තුලයි.විඤ්ඤාණය විසින් රූපය වෙනකොට
නාමයක් යටතේ වර්ග කරයි.චක්ඛු සම්පස්සය සිදුවන්නෙ රූපයෙ ගැටීමත්,නාමයේ
අධිවචන සම්පස්සයත් යන දෙකම හෙවත් නාම-රූපයක් ලෙස සැකසීමෙනි.ප්‍රතක්ජනයා
සත්‍ය ලෙස දකින ලෝකය මෙසේ සැකසෙයි.මෙසේ සැකසෙන නාම -රූපය සත්‍ය සහ නිත්‍ය
ලෙස ගැනීමෙන් මේ නාමරූපයට කැමැත්ත හෝ අකැමැත්ත ඇතිවීමෙන් ලෝභය සහ ද්වේශය
පැන නගී. 'තණ්හාව' යනු මෙසේ ඇතිවන ඇලීම සහ ගැටීමට කියන තනි නමයි. මෙසේ
තණ්හාවෙන් මනසෙන්ම උපන් නාම රූපය අල්ලා ගැනීම නිසා හෙවත් උපදානය කිරීම
නිසා භවය හට ගනී. කෙටියෙන් කිව්ව්වොත් භවය යනු ඉන්නවා තියනව යන හැගීමයි.
මම ඉන්නවා,මට බාහිර ලෝකයක් තියනව,මේ දෙකටම සිතින් ඇලෙනව. මේ තමයි කාම
භවය. මෙසේ සිතින්ම උපදවා ගත් නාම - රූපය සත්‍ය,නිත්‍ය,මගේ දෙයක් ලෙස
ගැනීම නිසා පන්ච උපාදානස්කන්ධය උපදී. මේ පන්ච උපාදානස්කන්ධය
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම වන නමුදු ප්‍රතක්ජනයා එය නිත්‍ය, සත්‍ය,මමය,මගේය
ලෙස අල්ලා ගැනීම නිසා ජාතිය,ජරාව,මරනය තමන්ගේම කර ගනියි.මෙලෙස මහා දුක්
කදම උපදී.ඇති කර ගනු ලබයි.මෙය ඉතාම කෙටියෙන් කී මහා දිග කථාවකි. බුදුන්
වහන්සේත් 84000 ක් ධර්මස්කන්ධයක් දේශනා කලත්,දෙසුවේ සියල්ලටම මුල ස්පර්ශය
බවයි. මේ මහා දුක් කදම,සසරම ගොඩ නැගෙන්නෙ මේ මුලික වරද නිසාය.මෙතන
නිවරැදි වුවොත් ඔබ ආර්ය මගට වැටෙයි. නැතහොත් කර්ම මාර්ගයේ ඉමක් කොනක්
නොදකින සසර ගමනට වැටෙයි.

මේ පොසොන් පොහෝදා ඔබට පිදෙන දහම් පඩුරයි මේ.
සැම දෙනාටම තෙරුවන් සරණින් සත්‍ය වැටහේවා!

© Sarath Kohilawaththage

No comments:

Post a Comment